සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මෙවර කඨින මහා පිංකම යාපනය ශ්‍රී නාග විහාරස්ථානයේදී පහුගියදා පැවැත්වුණි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වකිෂ්ට මැතිතුමාගේ නායකත්වය යටතේ, ආගමික සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ ගරු සභාපතිනි නිලිකා සේනානායක මැතිනිය, කෘත්‍යාධිකාරි මණ්ඩල නිලධාරින් ඇතුළු කමිටු සමාජික සමාජිකාවන්ගේ සහයෝගයෙන්, වාර්ෂික කඨින පින්කම යාපනයේ ශ්‍රී නාග විහාරස්ථානයේදී පැවැත්විණි. මෙය විශාල ආනිසංස සහිත මතකයෙන් නොමැකෙන පුජණීය අවස්ථාවක් විය.
කඨින මහා පින්කමට යාපනය ප්‍රදේශයේ බෞද්ධයන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූ අතර, කොළඹ ඇතුළු ලංකාව පුරා විවිධ ස්ථානවලින්ද පැමිණි සැදැහැවතුන්ගෙන් නාග විහාර පරිශ්‍රය පිරි තිබුණි. සමහරු යාපනයට දුම්රිය මගින් පවා ගමන් කර ඇති බව වාර්තා වේ. අද කාලයේ බොහෝ බෞද්ධයන් නාගදීපය, නාග විහාරය, කදුරුගොඩ පුරාවිද්‍යා ස්ථානය, තිස්ස රාජමහා විහාරය සහ නල්ලූර් කෝවිල වැනි ආගමික ස්ථාන වෙත සංචාරය කරයි.
සුවිශේෂි කරුණ වන්නේ, මෙම අවස්ථාවට අනෙකුත් ආගමික පුජකයින්, නියෝජිතයින් හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනතාවගෙන් ලැබුණු උණුසුම් සහයෝගයයි. ආගමික සහජිවනය සහ සාමය යොදාගත් එක්සත් හැඟීමක් ලෙස, යාපනයේ ප්‍රධාන හින්දු පූජකවරුන්, යාපනයේ කතෝලික සහ මුස්ලිම් පුජකවරුන් පිරිසද මෙම උත්සවයට සහභාගී වූහ. ප්‍රධාන අමුත්තෙකු ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් මැතිතුමා ද සහභාගී විය. තවද ලංකාවේ පිහිටි ඉන්දීය Consulate General කාර්යාලයේ නියෝජිතයෙකුද එහි දී සහභාගි විය.
එහිදී උතුරු පළාතේ විහාරස්ථානවලට අයත් භික්ෂූන් වහන්සේලා සහ මෙහෙණින්වහන්සේලා පනස්දෙනකට ආසන්න පිරිසක් සඳහා සංඝගත දක්ෂිණාවක් පැවැත්වුනී. මෙම උත්සවයේ සංවිධාන කටයුතු ශ්‍රී ලංකාවේ 51 හමුදා සේනාංකය හා එක්ව විශිෂ්ට ලෙස සංවිථානය කර තිබු අතර ඔවුන්ගේ පරිත්‍යාගශීලී ආකල්පය හා කැපවීම සියලුදෙනා විසින් අගය කරන ලදි.











