සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 106 වැනි සංවත්සරය නිමිත්තෙන් සහ වර්තමානයෙහි රටටත්, ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත් එල්ල වෙමින් පවතින අභියෝග හා ගැටලු සම්බන්ධයෙන් සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මහා නා හිමිවරුන් දැනුවත් කිරීම 2026 ජනවාරි 9 වැනි දින මහනුවරදී සිදු විය.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට හා ගරු නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ යන මහත්වරුන් මෙහිදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් හා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නා හිමියන් ද එම පාර්ශ්වයේ අනු නායක නාරම්පනාවේ ආනන්ද නාහිමියන්ද බැහැදුටුවේය.
මෙහිදී මහා නා හිමිවරුන්ගේ හා අනු නාහිමියන්ගේ ආශිර්වාදය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට හිමි වූ අතර මෙරට ප්‍රමුඛතම බෞද්ධ සංවිධානයක් වන එම සම්මේලනය සිදුකරන කාර්යභාරය උන්වහන්සේලාගේ පැසැසුමට ලක්වූහ.
ගිහි පැවිදි පාර්ශව එක් කර ගනිමින් ජාතික ආගමික හා සාමාජීය වශයෙන් තවදුරටත් පුළුල් වූ සේවාවක් සිදුකිරීමට බෞද්ධ මහා සම්මේලනයට වඩාත් හැකියාවක් පවතින බැවින් එවැනි සුවිශේෂී කාර්යභාරයකට නායකත්වය ගෙන කටයුතු කරන ලෙස උන්වහන්සේලා මෙහිදී ආශිර්වාද කළහ.
රටක අනාගත දිශානතිය අධ්‍යාපනය බැවින් ඒ සඳහා වන අවධානය වඩාත් වැදගත් බවද මෙහිදී සාකච්ඡාවට ලක් වූහ. සියවසකට වඩා දීර්ඝ ඉතිහාසයක් පවතින මෙරට ප්‍රමුඛතම බොදු සංවිධානයක් වන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය දීර්ඝකාලීනව ඉටුකළ කාර්යභාරය පිළිබඳවද මෙහිදී සිහි කෙරිණි





