






මේ වන විට සමස්ත රට වැසියනටම මහත් ව්‍යසනකාරී තත්ත්වයක්ව පවතින මත්ද්‍රව්‍ය ඇතුළු කුදුමහත් ඇබ්බැහිවීම් වලින් විශේෂයෙන් අපගේ තරුණ පරම්පරාව මුදා ගනු වස් අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය හා එක්වූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 2025.04.07 දින පෙ.ව. 9.15 ට යෙදුනු සුභ මොහොතින් සියපත උපදේශණ සේවා මධ්‍යස්ථානය උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.
අමරපුර මහා නිකායේ කල්‍යාණ වංශික පාර්ශවයේ අනුනායක පූජ්‍ය කොටපොල අමරකීත්ති ස්වාමීන් වහන්සේ විසින් ආගමික වතාවත් සිදු කරමින් හා සාරවත් අනුශාසනාවක් කරමින් උත්සව සභාව ආරම්භ කරන ලද අතර, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික විමර්ශණ මණ්ඩලයේ ගරු සභාපති ලලින්ද රණවීර මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (උසස් පුහුණු) සජීව මැදවත්ත මහතා හා අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයේ ගරු අධ්‍යක්ෂ ජනරාල් කර්නල් (විශ්‍රාමික) කේ.කේ.එස්.කොතලාවල මහතා සභාව අමතන ලද අතර, සෑම අදහස් පළ කිරීමක් තුළම මෙම ව්‍යායාමය සිදු කළ යුතුම කාර්යයක් බව මනාව පැහැදිලි විය.
අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සූරිය බණ්ඩාර මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් මෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු කෘත්‍යාධිකාරී මණ්ඩල භවතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
මෙදින සිට සතියේ සෑම වැඩ කරන දිනකම පෙ.ව.9.00 සිට 3.30 දක්වා, අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයේ විශේෂ පුහුණු නිලධාරීන් විසින් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අංක:380, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පිහිටුවා ඇති සියපත උපදේශණ සේවා මධ්‍යස්ථානයේදී අවශ්‍ය ඕනෑම අයෙකුට නොමිලයේ උපදේශණ සේවා ලබාගැනීමට හැකිය.